Thursday, November 3, 2011

පොඩි අයගෙ කඳුළු



පොඩිවුන් නිතරම අඩනවා.. ඒක ඒ අයගෙ හැටියක්.. අම්මල තාත්තලාගේ ආදරය තියෙන පොඩි අය ඇඬුවට මොකද වෙන්නේ.. ඒත් එහෙම නැති පොඩි අය ලක්ෂ කීයක් ලෝකයේ ඉන්නවද? දුක් විඳින ඒ පොඩ්ඩෝ අඬනවා කියන්නේ නම් දුකක්. 

කන්න නැතිව මේ ලෝකයේ කොයි තරම් නම් පොඩි අය අඬනවා ඇත්ද? ඒ ඇඬුම් වලින් පස්සෙත් කන්න මොනවත්ම නැත්නම් ඒ අයට මොනවා හිතෙනවා ඇත්ද? නිහඬවම කඳුළු ගලන පොඩිඑ‍කෙක් මතක් කරගන්න. කොයි තරම් නම් දුකක් ඒ හදවතේ ඇත්ද?  

තමන්ව බලාගන්න කෙනෙක් නැති නිසාම දුක්වන අය කොතරම් නම් ඇත්ද? මහා තනිකමක් උන්ගේ ජීවිතයට දැනෙනවා ඇති. ලෝකය තමන්ගේ නගරයෙන්, ගමෙන් එහාට තියෙනවා කියන්නවත් මේ අය දන්නේ නැතිව ඇති, මුළු ජීවිත කාලයම කෑම වෙනුවෙන් වෙහෙසෙන්න ඕන එකක් කියලත් හිතනවා ඇති. 

හොඳටම දුක්බරව ජීවත් වන පොඩ්ඩෝ කී දාහක් මේ ලෝකයේ ඇත්ද? හැම දිනම කඳුළු හෙලන දුක් විඳින මේ පොඩි අය ගෙ ජීවිත වෙනුවෙන් වගකියන්නේ කවුද?

මිනිසුන් ‍ඕනෑකර තිබේ......



කිසිවක් ම හෝ බලාපොරොත්තු නොවන නමුත් වැඩ වලදී දක්ෂ වේගයක් ඇති මිනිසුන් මේ රටට අවශ්‍ය ව තිබේ. මිනිසාගේ සන්තානයේ සරල බව ඇති කරන එසේම නිවහල් සුන්දරත්වයක් ඇති කරන තත්වයක් සමාජය තුල විය යුතුය. මේ හා සමගම අතීතයට ගොස් ආගම හා සංස්කෘතිය වැළඳ ගැනීමේ ඒකාකාරී වරදට නොපැමිනිය යුතු වේ. එසේම පරිසර හිතකාමී හරිත ලොවක් කරා සිත ගෙනයන විගඩං ද මින් අ අදහස් වන්නේ නැත.

මිනිසා සිතෙහි යම් දෙයක් රෝපනය වන්නට වල් ඉදිරූ කල ඒ වටා පොදි ගැසෙන දේශපාලන මත කිහිපයක් ලංකාවේ ඇත. ඔවුන් සිතා සිටින්නේ එය ඔවුන්ගේ නිසග අයිතිවාසිකමක් ලෙසය. මිනිසෙකු දේශපාලනය කරන්නේ කුමක් සදහාද යන්නේදී ඔවුන් කියනු ඇත්තේ ඔවුන්ගේ දර්ශනය සදහා මිනිසුන් දේශපාලනය කල යුතු බවයි. එය නිවරැදි නොවේ.

එම නිසා මිනිසාට අවැසි සරලත්වය යනුවෙන් අදහස් කරන දෙය මැනැවින් වටහා ගනිමින් සංවර්ධනය හා අනාගතය වෙනුවෙන් සහ මිනිස් සමාජය වෙනුවෙන් වැඩ කල යුතු මිනිසුන් අවැසි කාලයක අප සිටින්නෙමු. මේවා හුදෙක් වචන විය හැකි වුවත් යම් කිසියෙකුට මේ වචන භාවිතයට ගත හැකි නම් එයද ඇති ය.  

අධ්‍යයනය හා ප්‍රකෘතිය අත් නොකරගැනීම අතර වන ලාංකීය අසමානතා


ලංකාව පිලිබඳව අධ්‍යයනය කරනු ලබන හා මෙතක් කරන ලද සහ එම කරුණු, පවත්නා යථාර්තය අතර වන පරතරය ගැටළුවක්ව මතු වේ. මෙම පරතරය ලිවීමේදී මතු නොකරන අතර ඒවා සාකච්ඡා කරන විට හැම විටම මතු වේ. ලංකාවේ දේශපාලන සාකච්ඡා බහුතරයක (වාමාංශික හා අනෙකුත් ) කිව යුතු දේ කියන්නට ඉඩක් නිර්මානය නොවීමේ ගැටලුවක් මතු වේ. එම නිසාම එම කාරණා විධිමත් සාකච්ඡාවෙන් පසුව වන අතුරුපසමය සාකච්ඡා බවට පත් වේ. නමුත් මෙම අතුරුපසමය සාකච්ඡා වලදී මතු වන කාරණා ඉතා වැදගත් කොටස් යැයි ඕනෑම කෙනෙක් පිලිගනී. මේ කාරණා හඳුනාගන්නා විට ඒවා යම් විෂයයක හෝ ශික්ෂණයක තබන්නට නොහැකිවීම නිසා ඒවා හුදෙක් පාවෙන අදහස් බවට පත් වේ. මෙම ශික්ෂණයක නොතැබීම නිසාම මේ වන විට ලංකාව ගැන අධ්‍යයනය කරන අය යම් දේවල් අත්හැර යනවා වැනි දෙයක් මතු වේ.
බටහිර අධ්‍යයන ක්‍රමවේදය තුල යම් මූලික පදනමක් හා පෙර පරිශිලනයන් මූලික කරගෙන ඇත. යුරෝපා අර්ථයෙන් ගත් විට මෙය පොහොසත් පදනමකි. වසර දහසකට ආසන්න කාලයක් තිස්සේ යුරෝපා ප්‍රපංචය තුල මේවා සාකච්ඡාවට භාජනය වී ඇත. එම නිසාම වඩාත් පෝෂණය වූ පෙර මූලයක් ඒවාට ඇත. නමුත් ලාංකීය තත්වය මීට වඩා අතිශයින්ම වෙනස්ය. ලාංකීයත්වය තුල  විශේෂයෙන්ම සමාජවිද්‍යාව විෂයය තුල ඇති වී තිබෙන්නේ දුප්පත් මූලයකි. සියළු දෙනාම භාවිතා කරන්‍නේ ගැඹූරින් අධ්‍යයනය නොකරන ලද දුප්පත් මුලාශ්‍රයන්ය. එහි කොටස් කිහිපයකි
යටත්විජිතලාභීන් විසින් ලාංකීය තත්වය ගපා ඇත්තේ පළමුවරට ඔවුන්ගේ රටවල් වල එවැනි (යැයි කියන) මූලික පදනම් වල තබාය. දෙවන වර එම බරතැබීම කර ඇත්තේ ඉන්දියානු මුලයන්ගේ මූලිකත්වය තුලය. ඉන් යම් දැනුමක් නිෂ්පාදනය වී ඇත. එම දැනුම වර්තමාන දැනු‍මේ එක් දුප්පත් මුලාශ්‍රයකි.
මේ රටේ බිහිවූ බටහිර මූලික උගතුන් ඊළඟ කොටසය. මෙය මුලික වශයෙන්ම යටත්විජිතලාභී ප්‍රවනතාවය ම අනුව යමින් බිහි වූ කොටස සහ ලාංකීය දේශපාලනික හා දේශමාමාක හා ජාති මාමක නමුත් බටහිර මූලික යනුවෙන් කොටස් දෙකකට බෙදේ. දෙවන කොටස ඉතා ප්‍රාථමික අධ්‍යයනයන්ගෙන් පසුව මේ රටට ගැලපෙනවා යැයි කියන මූලයක් නිර්මානය කරන්නට උත්සාහ දරා ඇත. නමුත් එම උත්සාහය අධ්‍යයන දේහය තුල ස්ථාපිත ඓන්ද්‍රියව ස්ථාපිතව නැත. නමුත් බහුතරයක් උගතුන් හා පර්යේෂකයින් එසේ වී ඇතයි විශ්වාස කරමින් එම මූලන්ගේ සිට අධ්‍යයන කටයුතු සිදු කර ඇත.
අනෙක් කොටස වන්නේ බටහිර දැනුම් පද්ධතිය භාවිතා කරමින් මූලික අධ්‍යයන ශික්ෂණය ලබාගත් නමුත් දේශීය (යැයි කියන) සහ දේශපාලනිකව ජාතිකත්ව හා පටු වර්ගවාදී පදනමක් හා විඥානවාදී පදනමක් මත සිය මතවාදයන් ඉදිරිපත් කරනු ලබන මතවාදයන්ය. මෙම මතවාදීමය අවස්ථා 3ම මේ වන විටද ලංකාව තුල ක්‍රියාත්මක වන අතරම මේ අතර වන අන්තර්ක්‍රියාකාරිත්වයක්ද (සුළු වශයෙන් ) ඇත. මෙම ධාරාවන් තුනෙහිම මූලික පදනම එකකි. ‍එම පදනම ශක්තිමත් නොවීම නිසා වර්තමාන සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් සියල්ල තුල ම දරුණූ හිස්තැන් සහ පරතරයන් මතු වේ. මෙම හිස්තැන් සහ පරතරයන් අතර වන දැනුම මේ පදනම මත පිහිටා පිරවිය නොහැකි ගැටළුවක තිබේ. (රුසියානු හා යුරෝපා මාක්ස්වාදී හා කොටස් ද මෙයටම ඇතුලත් වේ.)
එකිනෙකාගේ දැනුම පිලිබඳව මේ කිසිදු කොටසකට වහසි බස් කිව නොහැකිය. හේතුව මේ හැම කොටසක්ම මේ පිලිබඳව වගකිව යුතු හා යම් සාමූහික ක්‍රියාවලියක නිරත විය යුතු නිසාය. දැනුමක් භාවිත කල හැකි මෙවලමක් බවට පත් වන්නට නම් එය සමාජීය තත්වයන් සමග වන නිසි ගලපාගැනීමක් බවට පත්විය යුතු වේ. මෙයට හොඳම උදාහරණය වන්නේ මේ වනවිට ලංකාවේ රජයන මතවාදය බවට පත්ව ඇති සිංහල බෞද්ධ ජාතිවාදී හා විඥානවාදී මතවාදයයි. ඉතිහාසය තුලසමාජ මතවාදයක් වෙනුවෙන් මේ තරම් අගය කිරීමක් කිසිදු විටෙක ලැබී නැත.
නමුත් මෙම දැනුමට කල හැක්කේ හුදෙක් මාධ්‍යමය හා ප්‍රචාරකවාදී වැඩකොටසක් පමණක් වීම තුල ඉහත කී දුප්පත්කම ඔප්පු වේ. උපරිම රාජ්‍ය බලය භාවිතා කරමින් මෙම මතවාදය හරහා වැඩ කරන්නට උත්සාහ කලත් කිසිදු ප්‍රායෝගික කාර්යභාරයක් මෙයට සිදු කල නොහැක. එය දැනට සේවය කරන්නේ මිනිසුන්ගේ කෝපය හා පීඩනය සමනය කිරීම සදහා පමණී. ඉදිරියේදී මෙය ද සිදු කිරීට නොහැකි වනු ඇත.
අනෙක් දැනුම් පද්ධති එක් එක් පිරිස් විසින් භාවිතා කරන්නට ලාංකීය උත්සාහයන් ගන්නා ලදී. රාජය නොවන සංවිධාන හරහා, රාජ්‍ය යාන්ත්‍රණය හරහා, දේශපාලන පක්ෂ හරහා සහ සමාජ ව්‍යාපාර හරහා මේ උත්සාහය දැරැවද කිසිදු විටෙක එම දැනුම් ප්‍රායෝගිකත්වය වෙනුවෙන් භාවිතා කර සාර්ථක වන්නට ඉඩක් නොලැබී ඇත.
සිදු වී ඇති එක් දෙයක් තිබේ. එනම් මේ මතවාදයන්හි නිර්මාතෘ වුන් මහාචාර්යවරුන් හා චින්තකයන් බවට පත්වීම පමණි. කේවල පුද්ගල දැනුම් පද්ධති වලින් එහාට ගොස් තවත් චින්තකයින් බිහි කිරීමට මෙම පුද්ගලයින්ට නොහැකිව ඇත. මේ සෑම පුද්ගලයෙකුටම අන්ධානුකරනයේහි යෙදෙන අනුගාමිකයන් රොත්තක් නම් සිටිති. නමුත් එය ගුරුකුලයක් බවට පත්වීමේ ශක්‍යතාවයවත් අත්පත් කරගැනීමේ ශක්තියක එම දැනුම නැත. මෙය ලාංකීය සමාජ දේශපාලන දේහය වෙනුවෙන් සෘජුවම බලපාන තත්වයකි.
දැන් චින්තකයින් යැයි කියාගන්නා සහ පර්යේෂකයින් යැයි කියාගන්නා සහ එහි විසංයෝජකයින් මේ සඳහා වගකිව යුතු වේ. එහි වගකීම සිදු විය යුත්තේ ලාංකීය සමාජ දේහයටය. විදේශ ආචාර්ය උපාධි වලට හෝ විදේශ සරසවි වලට දැනුම් ආයතන වලට මේ හැම කෙනෙක්ම වගකියන බව අපි දනිමු. නමුත් එම දැනුම උකහාගත් සමාජයට මේ අය වගකියන්නේ නැත. ඒ අයට සමාජය යනු හුදෙක් සිය පර්යේෂණ සඳහා වන නියැදීන් පමණි.
අනෙක් කොටස සිය මතවාදයන් දමා ගසමින් කුලප්පු කරන්නේ ඔවුන්ගේ සංවිධානයේ, නිකායේ හෝ සමාජව්‍යාපාරයේ පිරිස් වෙතය. ඔවුන්ගේ සමාජ වගවීම ද නැත. මෙම සමාජ වගවීම ඔවුන් විසින් කල යුතුදැයි ගැටළුවක් පැන නගී. මෙය සිදු කිරීමට තරම් වන ප්‍රමාණාත්මක දැනුමක් නොමැතිවීමේ ඹූලික හේතුව නිසා මෙයට පිලිතුරක් දීමට අවශ්‍ය වන්නේ නැත.

Tuesday, October 18, 2011

ආගම් භක්තිය හා සේවා ආර්ථිකය



ආගමක මූලික ම කාර්යය වන්නේ මිනිසා තුල අනාගතය හා වර්තමානය වෙනුවෙන් ඇති බිය නැති කිරීම බව සාමාන්‍යයෙන් සලකා බලන විට පෙනී යන කාරණයයි. නමුත් බිය නැති කිරීමේ මූලික තත්වය වන්නේ යතාර්ථය වෙනුවෙන් ඇති අවබෝධයයි. මෙම අවබෝධය ඇතිවන්නේ පරිහරනයෙන් හා ජීවත්වීමන් ලබාගන්නා අත්දැකීම් මගිනි. බිය සාපේක්ෂ දෙයකි. එය සම්පූර්ණයෙන්ම නැති කිරීමට අවශ්‍ය නැත. හේතුව මිනිස් විෂයය තුල එය සිදු කිරීමට නොහැකි බැවිනි. සාපේක්ෂව බිය නැති වන්නේ නිෂ්පාදනය හා සාමූහිකත්වය තුල වුවද මේ වන විට බිය නැති කිරීමේ මූලික මාධ්‍යය බවට පත්ව ඇත්තේ ආගම්ය.
මිනිසාගේ විඥානය සමාජ සත්තාවේ පරාවර්තනයක් වන නිසාම මිනිසා කුඩා කල සිටම විඳි දුක්ඛ දෝමනස්සයන්ගේ හා ගති පැවැතුම් පුරුදු වලින් මෙම ආගමික තත්වයන් ඇගට එන්නත් වී ඇත. මෙය සමාජානුයෝජනය තුල ඇති කරන තත්වයි. ලංකාවේ සමාජානුයෝජනය සිදු වන්නේ සාතිශය වැඩවසම් දැනුමක් තුලිනි. බිය නැති කරගැනීමේ රවටාගැනීමේ මාධ්‍යයක් වශයෙන් ආගම යම් කාර්යයක් ගෙන යන්නේ නම් එයට එකඟ විය හැකිය. නමුත් කර්මාන්තයක් වශයෙන් හා දේශපාලනික ආයුධයක් වශයෙන් ආගම ගෙන යන්නේ නම් එයට එකඟ විය නොහැකිය. සංවිධානාත්මක ආගම් හැම විටම රාජ්‍යයේ හා බලාධිකාරියේ පැත්ත ගනිමින් ජනතාව බියට පත් කරති. නමුත් ඔවුන්ම ජනතාවගේ සුළුබිය පහ කරති. රාජ්‍ය්‍ය පැත්තෙන් ඇති කරන බියෙන් මහජනතාවට සුළුදිය පහ වෙති. මෙය දෙපැත්තෙන් හිනා යන වැඩකි. තදබල විහිළුවකි. නමුත් මෙය අතිශය භයානක තත්වයකි.
 ලංකාවේ තත්වය මෙයයි. නිරිත දිග තෙත් කලාපයට බහුතරව හා රට පුරා යවිහිදී ඇති සේවා අංශයේ වැඩ කරන පුද්ගලයන්ගේ ජීවිත සහ ආගම් අතර සම්බන්ධතාවයක් ඇත. සේවා අංශයේ කාර්ය තත්වයන් තුල බිහි වන්නේ ස්පෘෂ්‍ය භාණ්ඩක් නොව සේවාවකි. මෙය බොහෝ විට මානසික ශ්‍රමය විසින් ඇති කරන ලද්දක් වේ. දැන් සේවා ආර්ථිකයේ කාර්යයන් ඉටු කරන බහුතරයක් ගොවිතැන (බොහෝ විට යැපුම්) මූලික කරගත් පවුල් වලින් තනන ලද අයයි. එවිට සේවා තත්වයන් සදහා වන මූලික වන මේ මනස සකස් ව ඇත්තේ බහුතරයක් වන වැඩවසම් හා ගොවි අදහස් වලිනි. මෙම ගොවි සහ වැඩවසම් අදහස් මත සේවා නිෂ්පාදනයක් සිදු කරන්නට ඔවුන්ට සිදුව තිබේ. සේවා නිසාම මෙම පිරිසේ බහුතරයක් යම් ආකාරයකය විද්‍යාත්මක නොවන තත්වයක් තුල සිය කටයුතු සිදු කරනු ලබයි. ලංකාවේ සේවා අංශයේ බහුතරයක් කාර්යයන් සිදු කරනු ලබන්නේ රංජ්‍ය අංශය තුලය.
රාජ්‍ය අංශය තුල දශක ගණනාවක් පවත්නා අකාර්යක්ෂමතාවය කිසි ලෙසකින් වත් නැවැත්වීමට කිසිදු රාජ්‍ය සේවා අවස්ථෘවකට නොහැකිව තිබේ. එම නිසාම මෙම අතිශය බහුතර රාජ්‍ය යාන්ත්‍රණය හුදෙක් වැඩවසම්වාදී සාම්ප්‍රදායිකත්වයකින් යටවේ. මෙම වැඩවසම්වාදී කාර්යය තත්වය යටතේ විනිශ්චය හා විඥානය සිදු වන්නේ විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. එම නිසාම මෙම තත්වය තුල සේවා කටයුතු කරන්නා කෙරෙහි ඇති වන්නේ නැවත ගොවි වැඩ මානසිකත්වයක් හා වේගයක් ඇති මානසික තත්වයකි. මෙම මානසික තත්වය විසින් ස්වභාවයෙන්ම ආගමික තත්වයන් සදහා වන නැඹුරුවක් ඇති වේ.
දියුණු නිෂ්පාදන කාර්යයක නියැලී සිටින්නන් හට විශ්වාසය තැබි යුතු වන්නේ සිය යන්ත්‍ර සූත්‍ර කෙරෙහි වුවද බහුතරයක් සේවා ආර්ථිකයක නියැලෙන්නන්ට සිදුව ඇත්තේ තමා කෙරෙහිම වන විශ්වාසයක් තැබීම කෙරෙහිය. එම නිසා ලංකාවේ බහුතරයක් වන රාජ්‍ය සේවා සේයකයින් විසින් සහ පුද්ගලික අංශයේ සේවකයින් විසින් ගොවීන්ට කම්කරුවන්ටත් වඩා ආගම ආරක්ෂා කිරීමේ ස්වභාවයක් දක්නට ලැබේ. මෙයට මූලක වශයෙන්ම හේතු වන්නේ ඔවුන්ගේ වේගයේ අඩුකම , අකාර්යක්ෂමතාවය හා බියයි. මේ තුන් වැදෑරුමටම හේතු, පිලියම් සහ නිදහසට කාරණා ආගම තුල ඇත...
සේවා ආර්ථිකයක් විසින් බිහි කරනු ලබන අනෙක් මූලික ඉඩකඩ නම් ලිංගිකත්වයයි. නමුත් එවැනි ලිංගික වාතාවරනයක් බිහිකිරීමට ලංකාවේ සංස්කෘතිය ඉඩක් තබා නැත. එම නිසා යළිත් නොකැමැත්තෙන් වුව ආගමික දේවල් බදා ගැනීමට මේ අයට සිදුව තිබේ.  

ඇරඹුමක්.....


දෝරෙ ගලන වැසි දිය අබියස
බලා සිටිමි මා
ඇත්දැයි ඔබෙ රුව
වැසි දිය මත....
මෝසමෙන් මෝසම
ඒ මතකය දියවෙමින් ඇත.

ආදරයක් වෙනුවෙන් වන නව මතකයක් එයට එකතු වී නොමැත. එනිසාම කහ පැහති මල් පිපෙන ඇහල ගසට මා සහ මාවත අමතකව ඇත. ක්‍රික් නද නංවන පළඟැටියන් ඔහේ වයති, සුපුරුදුව. මා හා එක්ව ගත කල කාලය ගැන ඔවුන්ට නිනවුවක් නැති සේය. කෙතරම් නම් මා ඉවසා ඉන්නද?  ලිවීම් සියල්ල ගිලිහී ගොස් ඇත. වියළි සුළං නංවන රජරට කලාපය ද මා අමතකව ගොස් ඇත. මා මතක ඇත්තේ කාටදැයි මා නොදනිමි. මෙවන් දෙයක් පුද්ගලිකව මා කිව යුත්තේ කාටදැයි නොමැතිව මා ලතැවෙමි. වාස්කා මා ළඟ ඇත. වාස්කාට කෙසේ මේවා වැටහේදැයි නොදන්නේ උෟ සිටින්නේ මා නිදා ගන්නා ඇ‍‍‍ෙඳෙහි බැවිනි. එබැවින් වාස්කාට මේවා කියා පලක් වන්නේ නැත. බොහෝ චරිත මා වටා ඇත. ඒ සියළු චරිත ඇත්තේ කාටුන් වල හෝ වෙනත් තැනක නිසා මා ඔවුන් හා කරන ගණුදෙනුව ගැන ඔබට කියා පලක් වන්නේ නැත. නමුත් මා එකක වෙමි. ඒ මා නැවත යමක් ලිවිය යුතු බව දැනෙමින් ඇති බවයි. ලිවීමට තරම් මාගේ ආධ්‍යාත්මය පොහොසත් වී දැයි දන්නේ ඒවා කියවන අය පමණී. එකක් මා දනිමි. තනිකම අතර සම්බන්ධයක් ඇත්දැයි මා සෙවීමට නොවෙහෙසෙන්නේ මේ වන විටත් මා අධික හිසරදයකින් පෙලෙන නිසාය.

වැසි අවසන්ව ඇත. අවසන් වූ වැසි බිඳු ටික් හඬ නංවමින් පොලවට රිද්මයකට ඇද හැලේ. වළාකුළු වලට ඉහළින් සිට මා දකිමි. සිනාසෙන පොළවක අසිරිය. සුන්දරතාවය කිසි විටෙක කිසිවෙකින් ගිලිහී යන්නේ නැත. එය අප විසින් අත් හරිනවා පමණි. යළි සුන්දරතාවය වෙත ගමන් කිරීමේ සරල මාවත මා හට අවැසිව තිබේ. එනම් යළිත් සරලවීමයි. දුක බරවැඩි වැඩකි. බර වැඩ කල විට හිතද බර වැඩි වන නිසා දුක අත් හරින්නට තීරණය විය යුතු වේ. දිගු කාලීන කල්පනාවන් ද අත් හැරිය යුත් වේ. නමුත් පෙර සේම ගැඹුරින් දැනෙන සිතිවිලි වලට ඉඩ ලබා දිය යුතුය. ආදරය ගැන එවැනි සිතුවිලි ඇති කරන ලද පණ ඇති හදවත් තියෙන ජීවිත මා ඉතා තදින් සිහි කරමි. ඒ පනැති  ජීවිත මා වෙනුවෙන් කඳුලැල් හෙලා ඇති බව මා දනිමි. ඒ කඳුලැල් මත ආදරයද දියව තිබුණි. ඒ ආදරයේ කොතරම් නම් පැහයක් තිබුණි ද? අප ඒ දිනවල කීවේ අපේ ආදරය නිසා සැන්දෑ අහස පැහපත් වී ඇති බවයි. ඒ තරමින් හැන්දෑවන් සුන්දරව තිබුණි. 

පොඩි එකෙක්ව සිටි මා යළි පොඩි එකෙක් වන්නෙමි. මා හට ද තුරුලක් අවැසිය. වැසි දින නිසා ඒ උණුසුමට මා ද කැමැත්තෙමි. එහි රාගාන්විත දෙයින් පසුව දැනෙන්නේ රැකවරණයක හා ආදරයක උණුසුමකි. එවන් උණුසුම්...  

ලියන්න උත්සාහ කරමු......